Thursday, March 26, 2026

 

අටමස්ථානෙන් හැළුණු ලෝකප්‍රකට ඉසුරුමුණිය

අනුරාධපුරයේ පූජනීය ස්ථානයන් අතරින් ඉසුරුමුණියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. විශිෂ්ට ගල්කැටයම් පිරුණු මේ විහාරය ඉතා සුන්දර දසුනක් මවනවා. ගල්පර්වතයක් සහ පොකුණක් ඇසුරෙන් එය තනා තිබෙන්නේ උද්‍යාන අලංකරණය ගැන වර්තමානයට පාඩමක් කියාදෙමින්. ඒත් මෙහි නියම නාමය “ඉසුරුමුණිය” නොවන බව හෙළිවී තිබෙනවා.

නමේ පටලැවිල්ල

වර්ෂ 1890 දී ඉසුරුමුණි විහාරය. දාගැබ ඉදිකරමින් පවතින අතර, නව බුදුමැදුර පැවති ස්ථානයේ ඇති ලෙන ද මෙහි දිස්වේ- lankapura.lk

වර්ෂ 1890 ගණන්වල ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් ඇතුළු කණ්ඩායම, අනුරාධපුරයේ වෙස්සගිරිය නමින් හඳුන්වන ස්ථානයේ ගවේශන කටයුතු කළා. එහිදී හමුවූ ගල්පුවරුවල කෙටූ සෙල්ලිපිවලින් හෙළි වුණේ ඒ වෙස්සගිරිය නොව ඉසුරුමුණිය බව යි. “ඉසුරුමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි විහාරය” යන නම වෙස්සගිරියේ නියම නම බව ගලේ කෙටූ අකුරුවලින් ඔප්පු වුණා. එම ගවේශන තවදුරටත් ඉදිරියට ගෙන ගිය මහාචාර්ය සෙනරත් පරණවිතාන එම ස්ථානය ඉසුරුමුණිය හෙවත් පුරාණ ඉස්සරසමණාරාමය බව තහවුරු කළා. නමුත් තවමත් මේ නම් පටලැවිල්ල එලෙසම භාවිත කරනවා.

දාගැබ ඉදිකිරීමෙන් පසු 1903 දී- බුදුමැදුර ඉදිකරමින් පවතී – lankapura.lk

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මෙසේ සඳහන් කර සිටිනවා: 

මෙයිගිරි විහාරය නැතහොත් මේඝගිරි විහාරය වර්තමානයේ දී ඉසුරුමුණිය නමින් හඳුන්වනු ලබනවා. මහාමේඝවනයේ පිහිටි මෙය හතරවන ශත වර්ෂයේ දී අභයගිරියට අයත් විය. දක්ෂිණ ථූපය සහ මඟුල් උයනට ඇතුළුවන නැගෙනහිර දොරටුව අසල මෙම විහාරය පිහිටා කිබුණි. නියම ඉසුරුමුණි විහාරයට වර්තමානයේ ව්‍යවහාර වන්නේ ඊට කිසිසේත්ම යෝග්‍ය නොවන වෙස්සගිරිය යන නම යි. 

(අනුරාධ සෙනෙවිරත්න- පුරාණ අනුරාධපුරය,196 පිට)

පැරණි ඉස්සරසමණාරාමයත් වර්තමාන ඉසුරුමුණිය නමින් හඳුන්වන විහාරයත් එකිනෙකට ආසන්නව තිසාවැව ඉවුර පාමුල පිහිටා තිබෙනවා. වර්තමාන ඉසුරුමුණියට උතුරින් රන්මසු උයනත්, දකුණින් වෙස්සගිරිය හා නැගෙනහිරින් වෙල් යායක් ද බටහිරින් තිසාවැව ද දැකගත හැකියි.

දන්ත ධාතුන් තැන්පත් කළ මේඝගිරිය

ඉසුරුමුණි වෙහෙර – N. H. Samarasingha,  Archaeology.lk

ක්‍රි. ව. 312 දී රජ පැමිණි කිත්සිරිමෙවන් රජ සමයේ නව වන රාජ්‍ය වර්ෂයේ දී දන්ත කුමරු හා හේමමාලා කුමරිය දන්ත ධාතුව රැගෙන අනුරාධපුරයට පැමිණ මුල් දින ගත කළේ මේඝගිරි විහාරයේ බව දාඨාවංශය සඳහන් කරනවා. එම විහාරය පිහිටා තිබුණේ මහාමේඝ උයනෙයි. වංශ කතාවලට අනුව මේඝගිරිය ක්‍රි. පූ. තුන්වැනි සියවසේ දී දේවානම්පියතිස්ස රජු ඉදිකළ විහාරයක්. එයට ඒ නම ලැබී තිබෙන්නේ මේඝවලා හෙවත් වලාකුළු සේ ඈතට දිස්වන ගිරිකුළු නිසයි.

අටමස්ථානයට අයත් නොවීම

ලෙන කපා හැදූ පැරණි බුදුගෙය- N. H. Samarasingha,  Archaeology.lk

හුඟදෙනෙක් දන්නැති කරුණක් තමයි ඉසුරුමුණිය හෙවත් මේඝගිරිය අටමස්ථානයට අයත් නොවන විහාරයක් බව. බුදුන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩි ගමනේ දී අනුරාධපුරයට වැඩ සමහන් සුවයෙන් ගත කළ ස්ථාන අටක් ගැන පූජාවලිය සඳහන් කරනවා. 14 වැනි සියවසේ ලියවුණු සද්ධර්මාලංකාරයේ ද මිහිඳු හිමියන් පූජා පවත්වන ලදැ යි සැලකෙන ස්ථාන අටක් ගැන දැක්වෙනවා. මේ කිසිම මූලාශ්‍රයක ඉසුරුමුණිය හෝ මේඝගිරිය බුදුහිමියන් වැඩ සිටි ස්ථානයක් ලෙස සඳහන් වන්නේ නැහැ. 1872 දී අටමස්ථාන කමිටුව සැකසූ අටමස්ථාන ලැයිස්තුවටත් ඉසුරුමුණිය අයත් වුණේ නැහැ. ඒ වන විට ඉසුරුමුණිය නටබුන් ස්ථානයක් මිස වන්දනාකරුවන් වදින පුදන තැනක් වුණෙත් නැහැ. මේ නිසාම 1909 දී ඉංග්‍රීසී ආණ්ඩුව අටමස්ථානය ලැයිස්තුගත කිරිමේ දී ඉසුරුනිණිය පූජනීය ස්ථානයක් වශයෙන් එයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවේ නැහැ. අද දක්නට ලැබෙන දාගැබ සහ විහාරගෙය සියවසකට පමණ පෙර ඉදිකරන ලද ඒවා යි.

සොඳුරු පුදබිම- srilankafinder.com

ඉසුරුමුණිය විශිෂ්ට කලා නිර්මාණ රාශියක් දැකගත හැකි ස්ථානයක් ලෙස පිටරටවල පවා ප්‍රසිද්ධයි. පුරාණ නිර්මාණකරුවාගේ කෞශල්‍යයට ඒවා අදත් උදාහරණ සපයනවා. මුලින්ම බෞද්ධ විහාරයක් වූ මේඝගිරිය පසුව හින්දු කෝවිලක් බවට පත්ව තිබෙන්නට ඇති බව පරණවිතාන සඳහන් කරනවා. පල්ලව සම්ප්‍රදායේ මුර්ති එයට එක්වූයේ ඒ අවස්ථාවේ බව ඔහුගේ අදහස යි.  

පිරිත් පැන් පොකුණේ නාන ඇතුන්

ගලේ නෙළු ඇත් රූ- steemit.com

ඉසුරුමුණිය විහාරයට ඇතුළුවන අපට මුලින්ම දිස්වන්නේ දාගැබ පිහිටි ගල් පර්වතය පාමුල ඇති පොකුණ යි. එයට කියන්නේ පිරිත්පැන් පොකුණ කියලයි. එහි ජල මට්ටමට ආසන්නව අලංකාර ඇත් රූප නෙළා තිබෙනවා. පොකුණේ ජලය පිරී ඇති විට ගල්පර්වතයේ අල්පෝන්නතව කොටා ඇති ඇත් රූප දිය නෑමට පොකුණට එන ඇත් රංචුවක් සේ දිස්වෙනවා. සමහර ඇතුන් හොඬ උස්සා ජල ක්‍රීඩා කරන ආකාරයක් පෙන්නුම් කර තිබෙනවා.

ගල හාරා තැනූ පැරණි පිළිම ගෙය

පිළිම ගෙය ප්‍රතිසංස්කරණයට පෙර 1870 දී -thenationaltrust.lk

මිනිසා සහ අශ්ව හිස මූර්තියට නුදුරින් ගල හරා තැනූ කුඩා බුදුගෙයක් තිබෙනවා. දොරටුවේ මකර තොරණත් එහි ඇතුළත පිහිටි හිදි බුදු පිළිමයත් ගලෙන්ම කැපූ එකක්. මේ පිළිමයේ පසුකාලීනව රන් ආලේප කර තිබූ බවට සලකුණු තිබෙනවා. මේ පැරණි බුදුගෙයට ආසන්නව ගල යට වූ ලෙනක් යළි සැකසීමෙන් වර්තමාන බුදුගෙය තනා තිබෙනවා. බුදු ගෙය අසලින් දිවෙන පියගැට පෙළ නැගීමෙන් ගල මත පිහිටි දාගැබ වෙත පැමිණිය හැකියි. ඒ අසලම පර්වතය මත කැටයම් කළ සිරිපා සලකුණක් තිබෙනවා.

මිනිසා සහ අශ්ව හිස

මිනිසා සහ  අශ්ව හිස කැටයම – srilankafinder.com

විහාරය අසල ගල් පර්වතයේ කොටා ඇති මේ කැටයම කැපීපෙනෙන ශෛලමය නිර්මාණයක්. පොළොව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් පිහිටි ගලේ කුහරයක් හාරා අර්ධ උන්නතව වාඩිවී සිටින මිනිසෙක් සහ අශ්ව හිසක් නෙළා තිබෙනවා. මිනිස් රූපය වාඩි වී සිටියත් ආසනයක් නිර්මාණය කර නැහැ. ඔහු කඳ ඍජුව තබා ගෙන සිටිනවා. වම්පස පාදය නමා පැත්ත දමා බිම තබා සිටිනවා. දකුණු පාදය දණහිස ළඟින් නවාගෙන වම් පතුල අසල පය බිම තබා ඇත්තේ දණහිස එසවෙන පරිද්දෙන්. උඩුකය නග්න යි; ගෙල මාලයේ පැළඳ හිස වැස්මකින් හිස වසා සිටින්නේ ඈතට බරවූ බැල්මකින්.

යටිකය වැසී ඇත්තේ දුහුල් කෙටි ඇඳුමකින්. මෙම ඉරියව්ව මහාරාජ ලීලාසන ඉරියව්ව ලෙස හැඳින්වෙනවා. මිනිස් රුව අතිශය තේජාන්විත පෙනුමකින් යුක්ත යි. දිගු කළ දකුණතේ උඩුබාහුවට ගෑවෙන තරම් සමීපව අශ්ව හිස නෙළා තිබෙනවා.

කැටයම පිහිටා ඇති අයුරු- tripadviser.com

පරණවිතාන මෙම ස්ථානය වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියාට සම්බන්ධ උත්සව පැවැත්වූ ස්ථානයයැ යි මතයක් ඉදිරිපත් කළා. එහි ගලේ කොටා ඇති අශ්ව හිස සහ මිනිසාගේ කැටයම, අග්නි සහ පර්ජන්‍ය ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව යි ඔහු මේ මතය පැවසුවේ. විල අසල ඇති ඇත් රූපවලින්  වළාකුළු සංකේතවත් කෙරෙතැ යි ඔහු පවසනවා.

මේ කැටයම ක්‍රි.ව. 12 වැනි සියවසට අයත් බව ආචාර්ය විලියම් කුක් මහතා පවසා තිබෙනවා. මහාචාර්ය ෆෝගල්, ආනන්ද කුමාරස්වාමි, බෙන්ජමින් රෝලන්ඩ් යන විද්වතුන් සඳහන් කරන්නේ මෙම කැටයම ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් බව යි. මිනිසා සහ අශ්ව හිස කැටයම ඉන්දියානු පල්ලව සම්ප්‍රදායේ නිර්මාණ හා සමානකම්  දක්වන බව මහාචාර්ය ෆෝගල් මහතා පවසයි.

ලොව ජනප්‍රියම පෙම් යුවළ

පෙම් යුවළ – steemit.com

අඩි 3 අඟල් 1ක් උස හා අඩි 2 අඟල් 3ක් පළල චතුරශ්‍රාකාර ගල් පුවරුවක අර්ධ උන්නත වශයෙන් නෙළා ඇති මේ කැටයම ලෝකයේ ගලින් නෙළු ජනප්‍රියම පෙම් යුවළ යි. විහාර බිමේ පියගාට පෙළ අසල ගල්බිත්තියට අල්ලා තිබූ එය අද එය විහාරබිමේ ඇති පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. ගල් තලයක් මත වාඩි වී සිටින තරුණයා පිටුපසින් සිටින ආකාරයටත් ඔහුගේ වම් කලවය මත වාඩිවී සිටින තරුණිය ඉදිරියෙන් සිටින ආකාරයටත් කැටයම් කර තිබෙනවා. මෙම රූප ගල් පුවරුවේ සමබරව කැටයම් කොට ඇති අන්දම අපූරු යි. තරුණයාගේ හා තරුණියගේ ආංගික අභිනයන්ගෙන් හා සංකේත වලින් ඔවුනොවුන් කෙරෙහි වන ප්‍රේමය හා ස්නේහය මෙන්ම ශෘංගාරය ද ඉස්මතු කොට දක්වනවා.

දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය හා ඔහුගේ සිත්ගත් සැඩොල් තරුණියක වූ අශෝකමාලා මින් නිරූපණය වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මත පළ කරනවා. මේ ශිව හා පාර්වතී ලෙසත්, මංජු ශ්‍රී හා ශක්ති ලෙසත්, සෙබලෙකු හා බිරිඳ ලෙසත් ආදී වශයෙන් විවිධ අදහස් විද්වතුන් පළ කර සිටිනවා. ශෛලිය අතින් මෙම මූර්තිය 5 වන සියවසට අයත් ගුප්ත කලා සම්ප්‍රදාය පිළිබිඹු කරන්නක්.  

රජ පවුල

රජ පවුල කැටයම -leisureandme.com

මෙම කැටයමත් කෞතුකාගාර තුළ දී තමයි දැකගත හැකි. මේ කැටයම් පුවරුවේ රජ පවුලක එක්තරා අවස්ථාවක් දැක්වෙන බව සැලකෙනවා. කැටයමේ මැද අන් අයට වඩා තරමක් උස අසුනක රජු අසුන්ගෙන සිටිනවා. ඔහු දකුණත ඔසවා යමක් පැහැදිලි කරන බවක් තමයි පේන්නේ. ඔහුගේ වමත දේවියගේ උකුල මත ඇති අතර දේවිය දෙ අතින්ම ඒ අත අල්ලාගෙන සිටිනවා. පසෙකින් සිටින කුමරා දෙ අත් පපුව මත තබාගෙන සාවධානව යමකට ඇහුම්කන් දෙන බවක් පෙනනවා. මෙහි සිටින්නේ දුටු ගැමුණු රජතුමා, බිසව හා සාලිය කුමරු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන  මත පළ කරනවා. මෙය 8  වන සියවසට අයත් කැටයමක් සේ සැලකෙනවා.

දේවතා රූප කැටයම්- 6-8 සියවස්,  wikipedia.org

 විහාර බිමේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තවත් ගල් කැටයම් රාශියක් දැකගත හැකියි. ඒවා අතරින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ ගලින් කළ කාවාටවල හෙවත් ඇතුළට හාරා කළ නිර්මාණ ලෙස යි. කුවේර ත්‍රිමූර්තිය, කින්නර කැටයම, වාමන රූප, සිංහ කැටයම් ආදියත් මෙහි තැන්පත් කර ඇති කැටයම් අතර වෙනවා.

Tuesday, March 17, 2026

 ලෝකයේ සුවිශේශී හා දුර්ලභම අත්දැකීමක් වන හුම්මානය

ශ්‍රී ලංකාව ස්වාභාවික සුන්දරත්වයෙන් සපිරුනු කුඩා දිවයිනක් වන අතර ඒ අතරට ලෝකයේ ශ්‍රී ලංකාවේම හෝ ස්ථාන ස්වල්පයක පමණක් දැකගත හැකි ස්ථාන වලින්ද සමන්විතයි . මේ අතරින් ස්වභාව ධර්මයේ චමත්කාරජනක නිර්මාණයක් වන හුංගම හුම්මානය සුවිශේශී ස්ථානයකි . හුම්මානය දික්වැල්ල හුම්මානය ලෙසද හැඳින්වූවත් එක අයිති වන්නේ කුඩා වැල්ල , හුංගම ග්‍රාමයටයි . මෙම ප්‍රදේශය අයිති වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට වන අතර ආසන්නම නගරය මාතර දිස්ත්‍රික්කයේ දික්වැලල් නගරයයි .

කුඩාවැල්ල ධීවර වරායට පිටුපසින් වනාන්තර සහිත කුඩා කඳුකර ප්‍රදේශයක හුම්මානය පිහිටා තිබෙනවා . තංගල්ල පාරෙන් කුඩාවැල්ල පාලම අසලින් කුඩාවැල්ල පාරට හැරී මීටර 300ක් පමණ යන විට වරාය පාරට නැවත හැරී යා යුතුයි . එතැන් සිට කි මී 1.6ක් පමණ යන විට හුම්මානය පිහිටි ප්‍රදේශය හමුවෙන අතර එහි ප්‍රධාන පාර ආසන්නයේන් වාහන නවත්වා ඇතුලු විය යුතුයි . පාගමනින් මීටර 500ක් පමණ යැඇමට සිදු වන අතර මීටර 400කදී පමාන ප්‍රවේශපත් කවුලුව හමු වන්වා . මෙහි ප්‍රවේශපත් ලබාගැනීමෙන් පසුව නවත කුඩා කඳු ගැටයක් නැගීමෙන් පසුව හුම්මානය ඔබට දැකබලා ගන්න පුලුවන් . මෙම ස්ථාය ආරක්සිත වැටකින් වට කොට ඇති අතර , අවට ප්‍රදේශයද තවමත් කුඩා වනාන්තරයක් හා වන උයනක් ලෙස පවත්වාගෙන යන්වා .හුම්මානය මෙන්ම අවට නැරඹීමට හැකි ලෙසද තැනින් තැන් ස්ථාන පවතින් අතර අවට වෙරළ තීරයන් මෙන්ම කුඩාවැල්ල ධීවර වරායද දැකගැනීමට හැකියාව තිබෙනවා .

ලෝකයේ හුම්මන වර්ග දෙකක් පවතින අතර මිරිදිය හා කරදිය ලෙස හඳුනාගන්න පුලුවන් . හුම්මනයක ගල් කුහරයක් තුලින් ජලය වේගයෙන් ගමන් කිරීමක් සිදු වන අතර , එහු එක් සිදුරක් සිරස්ව නැගී සිටිනවා . මෙහි ඇතිවන පීඩනය හේතුවෙන් සිරස් කුහරය තුලින් ජලය ඉහලට එසවෙන අතර එය පොලවෙන් උඩට විසි වී යාම සිදු වන්වා . කුඩාවැල්ල හුංගම ලෝකාන්තය ලෝකයේ දේවන විශාලම හුම්මානය වන අතර අප ට්‍රිප්.ල්ක් කණ්ඩායම සිදු කල සංචාරය අතරතුලදී මෙහි ක්‍රියාකාරිත්වය අපි නිරීක්ශැණය කරනු ලැබුවා .

වාරකන් ලෙස හඳුන්වන මුහුද රළු වන නිරිත දිග මෝසම් කාලයේදී හුමානයේ ක්‍රියාකාරීත්වය ඉතාම සක්‍රීය වන අතර එය විටෙක මීටර 30ක පමණ උසක් දක්වා ඉහල යාමට ඉඩ ඇති බව පැවසෙනවා .

ලෝකයේ දුර්ලභම අත්දැකීමක් වන මෙම අත්දැකීම විඳගන්න දෙස් විදේස් සංචාරකයන් දිනපතා ඇදී එන අතර , මෙය හොඳින් සක්‍රීය විට මෙහි ශබ්ධය ඉතා ඈතට ඇසිය හැකි බව පැවසෙනවා .

Saturday, March 14, 2026

 

ලෝ ප්‍රකට “ශ්‍රී පාදස්ථානය”

සමනල කන්ද, එසේත් නොමැති නම් ශ්‍රී පාදය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ ලෝ ප්‍රකට සිද්ධස්ථානයකි. මීටර් 2,243 ක් (අඩි 7,359) ක් උස්වූ මේ කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේයි. ලංකාවේ ජීවත් වන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, සහ කතෝලික යන සියලුම ආගමිකයන් වන්දනාමාන කරන මෙහි ඇති සිරි පතුල කාගේද යන්න පිළිබඳව අදටත් ඇත්තේ ගැටලුවකි. බෞද්ධයන් එය බුදුන්ගේ බව ද, හින්දුන් එය ශිව දෙවියන්ගේ බව ද, ඉස්ලාමිකයන් සහ කතෝලිකයන් එය ආදම්ගේ හෝ ශාන්ත තෝමස් ගේ බව ද විශ්වාස කරති. කෙසේ වුවත් ශ්‍රී පාදය ශ්‍රී ලංකාවේ සියලුම ආගමිකයන්ගේ වැඳුම් පිදුම් ලබන පුජ්‍ය ස්ථානයක් වේ.

භූගෝලීය තත්ත්වය

ශ්‍රී පාදස්ථානය ලංකාවේ පළාත් ගණනාවකටම ආසන්න වන සේ පිහිටා තිබේ. එක් පසෙකින් සබරගමුව පළාතේ රත්නපුරයේ මධ්‍යම උස් බිමෙහි දකුණට වන්නටත්, අනෙක් පසින් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය දෙසටත් මෙය පිහිටයි. ඒ අනුව සබරගමු පළාතේ රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 40ක් ඈතිනුත්, මධ්‍යම පළාතේ හැටන් නගරයේ සිට කිලෝමීටර් 32ක දුරකිනුත් ශ්‍රී පාද කන්ද දැකගත හැකියි. වටපිටාවේ මේ සා විශාල අන් කන්දක් නොතිබෙන නිසා වන ගහණය වූ සුවිසල් ගලක් සේ මේ කඳු පන්තිය දිස් වෙයි. ශ්‍රී පාද කන්ද අවට ප්‍රදේශය වන ජීවී රක්ෂිතයක් වන අතර අලි ඇතුන්, දිවියන් වැනි බොහෝ ඒකදේශීය වන සතුන්ගෙන් මෙම භූමිය ගහණය වී තිබේ.

ඉතිහාසය

srilankatailormade.com

ලංකාවේ දැනට හඳුනාගෙන ඇති පැරණිම පාලි ග්‍රන්ථය වශයෙන් සැලකෙන දීපවංසය “සමන්තකූට” යන නමින් මෙම ස්ථානය හඳුන්වා තිබෙන අතර ඉන්පසු ඉතිහාසයක ලියවෙන මහාවංසය ද බුදුන් එහි වැඩම කර ඇති බවක් සඳහන් කරයි. රාජාවලිය දක්වන ආකාරයට බු.ව. 01 වන සියවසේදී වළගම්බා රජු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් බේරීමට ශ්‍රී පාද කන්දේ සැඟව සිට ඇත. ඔහු අනුරාධපුරයට පැමිණ ඇත්තේ ඉන්පසු කාලයකයි. මහාවංසය ද එලෙසම, එනම් වළගම්බා රජු එහි සැඟව සිට ඇති බවක් සඳහන් කරයි.

ඉතාලි ජාතික වෙළෙන්දෙක් වන මාර්කෝ පෝලෝ ඔහුගේ චාරිකාවන් විස්තර කරද්දී ශ්‍රී පාදස්ථානය වැදගත් ස්ථානයක් ලෙසින් හඳුනාගෙන ඇතත් එහි ඇති පා සලකුණක් පිළිබඳව නම් සඳහන් කොට නැත. අරාබි ජාතික සංචාරකයෙක් වන ඉබන් බතුතා දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ සෙරන්ඩිබ් හි කඳු මුදුනකට නැගි  බව වාර්තා වී තිබෙන අතර එම ගමනේදී ඔහුට එහි තිබූ යකඩ දම්වැල් සහ රුකුල් කණු උදව් වූ බව ද සඳහන් කර ඇත. රසායනඥයෙකු වන සර්. හම්ප්ටි ඩේවිගේ සහෝදරයෙකු වන ජෝන් ඩේවි වර්ෂ 1817 දී ශ්‍රී පාදය සංචාරය කර ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ ගල මත තිබූ පිත්තල තීරයකින් සහ මැණික් වලින් හෙබි විශාල පා සලකුණක් ඔහු දුටු බවයි.

ජනප්‍රවාද

all.lk

බෞද්ධයන්ට අනුව ශ්‍රී පාදස්ථානයේ ඇති පා සලකුණ බුදුන්ගේය. ඔවුන් සඳහන් කරන්නේ එය බුදුන්ගේ වම් පා සලකුණ බවයි. සමන් දිව්‍යරාජයාගේ ආරාධනාව මත බුදුන් ලක්දිවට වැඩි අවස්ථාවේ සංකේතයක් ලෙස එය එහි තබා ගොස් ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

හින්දුන්ට අනුව එම පා ලකුණ ශිව දෙවියන්ගේ ය. එමෙන්ම ජනප්‍රවාදයේ එන රාමායණ සමයේ රාවණාගේ ත්‍රිකූට පව්ව ලෙසින් හැඳින්වූයේ ද මෙම ස්ථානය බව ඔවුන් විශ්වාස කරයි.

සමහර ඉස්ලාම් භක්තිකයන් සහ කතෝලික භක්තිකයන් මෙම පා සලකුණ ආදම්ගේ බවට විශ්වාස කරති. ඔවුන්ට අනුව ඒදන්ගේ උයනේ සිට පැමිණි ආදම් එහි පා සලකුණ තබා ගොස් ඇත. මුස්ලිම් භක්තිකයන් විශ්වාස කරන පරිදි ආදම් යනු අඩි 30ක් උසැති පුද්ගලයෙකි.

වන්දනා සමය

ශ්‍රී පාද කරුණා සමය ආරම්භ වන්නේ වසරේ අග, එනම් දෙසැම්බර් මාසයේ වන අතර ඊළඟ වසරේ මැයි මස වන විට වන්දනා සමය අවසන් වෙයි. වසරේ අනෙක් මාස වලදී ශ්‍රී පාද ගමන දුෂ්කරය. ඒ තද වර්ෂාව, දැඩි සුළං සහ මීදුම් සහිත කාලගුණය නිසයි. සිරිපා කරුණා කිරීමට සුදුසුම කාලය වන්නේ අප්‍රේල් මාසයයි. කඳු මුදුනට හොඳින් හිරු එළිය වැටෙන්නේ මේ කාලයේ වන අතර ඉර සේවාව හොඳින් දැකබලා ගැනීමට ඉන් මඟ පෑදේ.

ඉර සේවාව

srilankatraveladventures.wordpree.com

ඉර සේවාව යනු කෙටියෙන්ම රාත්‍රී කළුවර කපාගෙන ලොවම එළිය කරමින් ඉර නැඟ ඒමයි. සිරිපා කඳු මුදුනේ සිටින විට එය හොඳින්ම දැකගත හැකි බවයි සියල්ලන්ගේම විශ්වාසය. සාමාන්‍යයෙන් උදෑසන ඉර සේවාව දැක ගැනීමට කැමති බැතිමතුන් ශ්‍රී පාද කරුණා කිරීම ආරම්භ කරන්නේ සවස් යාමයේ ය. ඒ අනුව රාත්‍රිය එළි වන්නට කඳු මුදුනට නැඟ ගන්නා ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ උදෑසන ඉර සේවය දැක ගැනීමයි. ඇත්තෙන්ම රාත්‍රියේ කන්ද තරණය කිරීම අතිශය අපූර්ව අත්දැකීමක්. මඟ දිගට ඇති ආලෝක පහන් සිරිපා කරුණා කිරීමට මඟ පෙන්වයි. අතරමඟ ආහාර ගැනීමට මෙන්ම මඳක් ගිමන් හැරීමට හැකි ස්ථාන ද නැතුවාම නොවේ.

ශ්‍රී පාදයට සුදුසුම මඟ

ශ්‍රී පාදස්ථානයට ළඟා වීමට මාර්ග සය (06) කි.

 

  • රත්නපුර- පලබැද්දල මාර්ගය
  • හැටන්- නල්ලතන්නි මාර්ගය
  • කුරුවිට- එරත්න මාර්ගය
  • මුරේවත්ත මාර්ගය
  • මූකුවත්ත මාර්ගය
  • මාලිම්බොඩ මාර්ගය

 

ඒ අතර වේ.

මෙයින් මුරේවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ මාර්ග භාවිතා කරන්නේ නැති තරම් ය. කුරුවිට- එරත්න මාර්ගය ඉඳහිට භාවිතා කරනු දැකිය හැකි වුවත් බොහෝ බැතිමතුන් භාවිතා කරන්නේ රත්නපුර- පලබැද්දල මාර්ගය සහ හැටන්- නල්ලතන්නි මාර්ගය යි. මෙයිනුත් හැටන්- නල්ලතන්නි මාර්ගය අධික බෑවුම් සහිත වුවත්, එය අන් මාර්ග වලට වඩා කෙටිය. එම මාර්ගයෙන් යන විට මුළු දුර වන්නේ කිලෝ මිටර් 5ක් පමණි.

Sunday, March 8, 2026

 මියුගුණ පුදබිම


බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසය පරිපෝෂණය වීමට වංශ කථාවන් බෙහෙවින්ම ඉවහල් විය. ඊට අමතරව ශිලාලේඛන, පුරාවෘත්ත, ජනප‍්‍රවාද, ලේඛන හා පාරම්පරික මතකවලට ද ලැබුණේ ප‍්‍රමුඛ ස්ථානයකි.
සිදුහත් කුමරු ගිහිගෙය කළකිරි බුදු බව සොයා ගියේය. බුදුවී නම වැනි මාසයෙහි දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකාද්වීපයට වැඩම කළහ. මහා වංශයෙහි සඳහන් වන පරිදි ඒ ප‍්‍රථම ලංකා ගමනයේ දී බුදුන් වහන්සේ මහියංගන සෑරදුන් පිහිටි ස්ථානයේ වැඩ සිටි බව ද එහි සඳහන් වේ.
උන්වහන්සේ එදින සවස් කාලයේ මහවැලි ගංතෙර පිහිටි මහානාගවනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම දමනය කිරීම සඳහා අහසට නැගි පෙළහර පෑ බවද අන්ධාකාරයක් මවා ඔවුන් දමනය කළ බව ද දමනය කළ යකුන් ගිරි දිවයිනට පළවා හැර ලක්දිව මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් බවට පත්කළ බව ද සඳහන් වේ.
අපි දැන් මහා වංශයට යොමුවෙමු. ශත‍්‍රැ මර්දනය කරන ශීලිවූ සර්වඥතෙම උරුවෙල් කස්ප් නම් ජටිලයාගේ මහායාගය එළැඹ සිටි කල්හී තමන් නොර්මෙහි වූ ඔහුගේ ඉච්ඡාවාරය දැන උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනැවුත් අනවතප්ත නම් විල සමීපයෙහිදී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වැනි දුරුතු මස පුර පසළොස්වක්හි ලංකාද්වීපය, ශුද්ධ කරනු පිණිස, ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනැකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයින් බැහැර කටයුතු යැයි ද දක්නා ලදී.
ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහානාගවන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප‍්‍රසිද්ධ විය.
ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මයියංගන ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාකාන්ධකාරය මැවූ සේක භීතියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්ලූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුනට මෙසේ වදාළ සේක.
”යක්ෂයනි තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මෙතැන්හිම හිඳිනා තැනක් දෙන්නහුද? නොමදෙන්නහුද?
නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලූම ලක්දිව දෙම්හ. අපට අභය දුන මැනවැයි ඒ සියලූම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ.
ඔවුන්ගේ බිය ද, ශීතය ද, අන්ධකාරය ද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අකුට එහි වැඩ හුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නක්කොට හාත්පසින් විශාල කළ සේක.
ගී‍්‍රෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්නයෙහි හාත්පසින්ම සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන් රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. උන් එහි වත්කළ තිබුණ තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලූ සේක. (එකල්හි දෙවියෝ සර්වඥයන් වහ්නසේ කරා පැමිණියෝය.) ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීන තිසරණ පන්සිල්හි පිහිටියෝය යනුවෙන් මහාවංශයේ සඳහන්වේ.
එහෙත් වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ කතා පුවතේ සදොස් තැන් ඇතැයි අවධාරණය කරති.
ඔහු මෙසේ පවසයි. යක්ෂ කියන්නේ ගෝත‍්‍රයක්. අපේ මියයන අය යක්ෂයන් වී උපදින බව අපේ විශ්වාසයයි. ඒ අපේ නෑයකුන්. ඔවුන් අදහන්න පුදන්න අප පුරුදුවී සිටිනවා. ඔවුන් දත් විළිස්සූ භයානක පිරිසක් නොවෙයි. මිනිසුන් කොටසක්. බුදුන් වහන්සේ වැඩි කාලයේත් යක්ෂ, නාග ආදී ගෝති‍්‍රකයන් ඇසුරේ හිටියා.
මහියංගණය ප‍්‍රදේශයේ විශාල වශයෙන් අපේ නෑ යකුන් ඉඳල තියෙනවා. එම කාන්තාවන් පවා විලිවහන්න ඇඳුම් ඇඳගත් ශිෂ්ට පිරිසක් බව විහාරයේ චිත‍්‍රවලින්ම පෙනෙනවා. ආගන්තුකයෙක්, නාඳුනන කෙනෙක් තම ප‍්‍රදේශයට ආවම සැකයෙන් බලන එක  ඕනෑම කෙනකුගේ සිරිතක්. අවසරයක් නැතිව ආව බුදුන් වහන්සේට (යක්ෂ ගෝති‍්‍රකයන්) අපේ අය විරෝධය පාල තියෙන්නේ ඒ නිසයි. එවිට බුදුන් වහන්සේ තමා කව්දැයි දැන ගැනීම සඳහා පෙළහර පාලා තියෙනවා.
ඒ උත්තමයා කව්දැයි තේරුම් ගැනීමෙන් පසු අපේ අයත් බණ අහල මහවැලි ගෙඟන් එගොඩවෙලා ඔවුන් ජීවත්වූ කඳු මුදුන්වලට ගිහින් තියෙනවා. එහෙම නැතිව බුදුන් වහන්සේ අපේ අය බයට පත්කරල ගිරිදිවයිනකට පළවා හැරියයි කියන කතාව අපි නම් විශ්වාස කරන්නේ නැහැ.
මොකද? බුදුන් වහන්සේ කාටවත් හිරිහැර කළ කෙනෙක් හෝ බියට පත්කළ කෙනෙක් නොවෙයි. තමා ඝාතනයට පැමිණි අංගුලිමාලට මෙන්ම නාලාගිරි ඇතා ද බියට පත්කළේ නැහැ. බොහොම කරුණාවෙන් ඒ අයට කරුණු අවබෝධ කර දුන්නා. අපි නෑයකුන් අදහන පිරිසක්. ඒ වගේම බුදුන් වහන්සේත් අදහනවා. අපි පන්සල් යනවා බුදුන් වඳිනවා. දානය දෙනවා.
මාවරගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති මමයි. වැදි අනන්‍යතාවය ඇති පස් දෙනෙක් ”මාවරගල”දී පැවිදිවෙලා තියෙනවා යැයි ද වන්නියලැ ඇත්තෝ පැවැසූහ.
මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික (ඇසළ) පෙරහර අවසන් දිනයේ අලූයම් කාලයේ මහියංගණ චෛත්‍යය වැඳ පුදා ගැනීමට වැදි ජනයා පෙරහරින් පැමිණෙති. ඔවුන් අත දිග රිටි දක්නට ඇත. රිටි උඩට විසිකරමින් ඒ මේ අත සහ පොළොවේ ගසමින්. ආවේශ වූ පිරිසක් මෙන් රංගනයක යෙදෙති. එසේ රඟමින් චෛත්‍යය වටේට ද පන්සල් භූමියේ ද සැරිසරා රිටි කෑලි කෑලිවලට කැඩුන පරිදි අලූයම් කාලයේ මහවැලි ගඟට පැන එගොඩ පීනා යති. මේ අනුව මහා වංශයේ සඳහන් පුරාවෘත්තයට වැදි ජනයාගේ මේ හැසිරීම සාක්ෂියක් බව සමහරු කියති. බුදුන් වහන්සේ අහස්කුස වැඩසිට අන්ධකාරයක් මවා යක්ෂයන් දමනය කිරීම හා ඔවුන් දමනය කොට ගිරි දිවයිනට පළවා හැරීම මේ නිරූපනය බව ද කියති.
වැදිනායක වන්නියලැඇත්තෝ පවසන්නේ නාඳුනන පුද්ගලයකු වූ බුදුන් වහන්සේට විරෝධපෑම මෙහිදී සංකේත වුවත් ගිරිදිවයිනට පළවා හැරීමක් නොවූ බවයි. ඔහු යළිත් අවධාරණය කළේ දහම් අසා යක්ෂ ගෝති‍්‍රකයන්. මහවැලි ගෙඟන් එගොඩව තමන් විසූ කඳු මුදුන්වලට ගිය බව මෙතුළින් සංකේතවත් කරන බවයි.ලංකාවේ පළමු වැනි චෛත්‍යය ගොඩනංවා ඇත්තේ කතාබහට ලක්වූ මෙම ස්ථානයේය.
මහියංගණ චෛත්‍යය ඉදිවූයේ කෙසේද?
සමන්තකූට පර්වත වාසී මහා සුමන දිව්‍ය රාජයා ද එහි රැස්වූ දෙවියන් අතර විය. බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ දෙවිරජ තෙමේ බුදු රජාණන් වහන්සේගෙන් පූජා කිසිවක් ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් පමණ දෙවියන්ට දුන් සේක. රත්තරන් කරඬුවකින් එය පිළිගත් දෙව්රජ බුදුන් වහන්සේ වැඩ සිටි තැන සත් රියන් දිග අවට එක්විසි රියන් ඇති රුවන් රැසෙක තබා එය ඉන්ද්‍රඛීල චෛත්‍යයකින් වැසීය.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සර්වඥ නම් සමිඳුන් සඳුන් දර සෑයෙන් සර්වඥ ගී‍්‍රවා ධාතුව ගෙන දොළොස් රියන් සෑයක් කළේය. දෙවැනි පෑතිස් රජුගේ සොහොයුරා වූ උද්ධචූලාභය මේ චෛත්‍යය තිස්රියන් කොට මියුගුණ සෑය කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු දුටු ගැමුණු රජු විසින් මෙම සෑය තවත් විශාල කරවා ඇත.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් මහියංගණයේ රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ.
සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුදන ලද්දේ මේ බෝ සෙවණේදීය. ”ස්වාමීනී මාගේ මේ කුමරුවා මහා සංඝයා වහන්සේගේද බෝධීන් වහන්සේගේ ද සරණ යන්නේයි. කුමරතෙම මෙතැන් පටන් සංඝබෝධි නම් වේවායි” පවසා සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුද ලැබ තිබේ. කුමරු හොවා තැබූ ගල් පුවරුව අදත් මේ බෝ සෙවණේ දැකිය හැකිය. පිය රජුගේ අභාවයෙන් පසු සත් හැවිරිදි සඟබෝකුමරු සිය මාමා වූ නන්ද මහ තෙරුන් ඇසුරෙහි වැඩුණේය.
වෝහාර තිස්ස රජුගෙන් බේරීමට ඔහුට මහියංගණ විහාරය හොඳ ස්ථානයක් විය. සිරිසඟබෝ රජු මේ බෝ සෙවණේ දී සියලූ ආභරණ ගලවා දමා සිවුරු පොරවා තිබේ.
පළමුවැනි විජයබාහු රජු සොළීන් සමග සටන් කරන කාලයේ දී මහියංගණයේ කඳවුරු බැඳ සිටියේය. එවකට මහියංගන දාගැබ නටබුන්ව පැවැතියේය. රජතුමා ජයග‍්‍රහණයෙන් පසු දාගැබ පිළිසකර කරවා ගම්බිම් පුදා ඇත. පොළොන්නරු යුගයේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු මියුගුණ මහ වෙහෙර ප‍්‍රතිසංස්කරණය කළේය. දෙවැනි විමලධර්මසූරිය රජ දවස (කි‍්‍ර.ව. 1687-1707  ඕලන්ද හමුදාව මියුගුණ වෙහෙර කොල්ල කෑ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
මහියංගණ විහාරස්ථානයේ පාලන තනතුරට භික්ෂුන් වහන්සේ නමක් පත් කිරීම අස්ගිරි මහා පරපුරෙන් සිදුවේ. 1851 දී අධිපතිධුරයට පත්වූ අතිගරු ඉඳමළුගොඩ ධම්මපාල හිමියෝ මහියංගණ සෑය පිළිසකර කරවා ගර්භය සාදවා ධාතු නිධානය ද කරවා ඇත. එම ප‍්‍රතිසංස්කරණයේ දී දුටු ගැමුණු රජු විසින් කරවූ රන් මුවා සධාතුක කරඬුව ද මෙහිදී හමුවී ඇත.
1949 වනවිට ගර්භයේ උඩකොටස කඩා වැටී පැවතිණ. ගර්භයේ විශාල කොටසක් පුපුරා ඇදහැලෙන තත්ත්වයකට පත්විය. ලංකාවට නිදහස ලැබුණහොත් ලංකාවේ ප‍්‍රථම ස්තූපය වූ මහියංගන දාගැබ ප‍්‍රතිසංස්කරණය කරන බවට ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ ඞී.එස්. සේනානායක මහතා අධිෂ්ඨාන කරගත් බව කියති.
ඒ අනුව ලංකාවට නිදහස ලැබූ අගමැතිවරයාගේ ප‍්‍රථම කාර්ය වූයේ මෙම සෑයේ ප‍්‍රතිසංස්කරණ ඇරැඹීමයි.
එම ප‍්‍රතිසංස්කරණයෙන් පසු 1961 සැප්තැම්බර් මස 21 වන දින ඞී.එස්. සේනානායක මහතා විසින් කොත පළඳවා තිබේ.
එදා මෙදා තුර මෙම විහාරස්ථානයේ නාහිමිවරුන් හා භාරකාර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ උන්නතිය සඳහා විශාල මෙහෙවරක් සිදුකරවා ඇත. මෑත භාගයේ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුදීම රක්ඛිතාභිධාන මා හිමියන්ගේ හා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි මහියංගණ විහාරයේ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීම යටතේ ඉතිහාසයේ නොවූ තරම් වූ සංවර්ධනයක් සිදුකර තිබේ.
බුදුන් වහන්සේ මියුගුණ පුද බිමට වැඩම කර වසර 2600ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පින්කම් මාලාව මේ මස 7, 8, 9 යන දිනයන්හි පැවැත්වේ. (8 වනදා) දුරුතු පෝය දා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවීමට නියමිතය.

Sunday, March 1, 2026

 

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද, චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත.


පුරාවිද්‍යාත්මක වටිනාකම

මහ එළිය නම් වූ මෙම ප්‍රදේශයට මුලින්ම ගමන්කල බටහිර ජාතිකයින් වන්නේ 1920 දශකයේ දී සංචාරය කල ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර් ,කර්නල් ඇල්බට් වොටිසන් යන දෙදෙනාවේ. එහෙත් මෙයට හෝර්ටන්තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදි.

හෝටන් තැන්න පිළිබඳ ව කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ දෙස අවධානය යොමු කළහොත් 1992 අරබණ ලද පර්යේෂණවලදී හෝටන් තැන්නේ අතීත පාරිසරික තත්වය ,දේශගුණික තත්වය ,හා පැළෑටි වල ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කර තිබුණි.කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ස්වීඩනයේ ස්ටොන්හොම් විශ්ව විද්‍යාලයේ චතුර්තක භූ ගර්භ විද්‍යා ආයතනය හා උත්සලා විශ්ව විද්‍යාලයේ විද්වතුන් එකතු ව මෙම පර්යේෂණ සිදු කරන ලදි.

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රේමතිලක මහතා සඳහන් කරන ආකාරයට මෙහි දී සොයා බලන ලද්දේ ලෝකයේ අවසාන ම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳවයි. මෙහිදී අනාවරණය කර ගත් තොරතුරු අතර

  • වසර 20000 කට පමණ පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය
  • මීවනශාක වල තත්වය
  • මිනිසා ඇසුරේ වැඩුණ ශාක
  • ක්‍රි.පූ.8000 තරම් ඈත යුගයේ වගා කටයුතු

ආදිය පිළිබඳව ලත් තොරතුරු ලක් ඉතිහාසයට වැදගත්ය. මෙහි දක්නට ලැබෙන යෝධ මී වන හා මහ රත් මල ඉතා ඈත අතීතයේ සිටම පැවති ඒ වාය.

එමෙන්ම මීට වසර 9000 කට පමණ පෙර පරිසර උශ්නත්නය ඉහළ යාම නිසා වර්ෂාපතනය අධික වී විවිධ ස්ථානවල ඇති වූ ජලාශ හෝටන් තැන්නේ ද ඇති වූ බව සොයා ගැනුණී.මෙහි මධ්‍ය ශිලා යුගයේ (Mesolithc Man)මානවයා වාසය කළ බවත් ඔවුන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වූ බවත් මේ ආශ්‍රිතව කෙරුණ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.එසේ ම හෝටන් තැන්න ‍‍ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වූවකි.

ජෛව විවිධත්වය

1992 දී සිදුකරණ ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංඛ්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම ගෝන රංචුව.

මෙහි දක්නට ලැබෙන පක්ෂීන් අතර

  කලා වැව කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව ...