සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක්
ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ඒ සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් දිවෙන ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් අවසර ලබා දීම නිසා යි. එම තීරණය ලබාදීමත් සමගම බොහෝ පාර්ශවයන් ඊට විරෝධය දක්වනු ලැබුවා. එලෙස විරෝධය දැක්වූ පාර්ශවයන් පවසා සිටියේ එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංවේදී පරිසර පද්ධතියක් තිබෙන සිංහරාජ වනාන්තරයට දැඩි හානියක් සිදුවන බව යි. 1989 වසරේ දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ සිංහරාජ වනාන්තරය ගැන බොහෝ දෙනෙකු මේ දිනවල උනන්දුවක් දක්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.
සිංහරාජය දිස්ත්‍රික්ක තුනකට මායිම්ව ඇති වනාන්තරයක් වේ.
සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන සිංහරාජ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය රත්නපුරය, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබෙනවා. හෙක්ටයාර 11187ක විශාලත්වයකින් යුත් සිංහරාජ වනාන්තරය එක් එක් දිශාවෙන් මායිම්ව ඇත්තේ මෙසේයි.
දකුණු දිශාවෙන්- ගිං ගඟ සහ මහදොළ
උතුරු දිශාවෙන්- නාපොල දොළ සහ කොස්ගුලන ගඟ
බටහිර දිශාවෙන්- කළුකන්දාව ඇළ සහ කුඩව ගඟ
නැගෙනහිර දිශාවෙන්- මෝනිංසයිඩ් වතු යාය
එසේම සිංහරාජ වනාන්තරය තුළට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග 4ක් තිබෙනවා. පහත දක්වා ඇත්තේ එම මාර්ග හතර යි.
1) දෙනියාය-පල්ලේගම මාර්ගය
2) කලවාන-වැද්දාගල මාර්ගය
3) රක්වාන-මෝනිංසයිඩ් මාර්ගය
4) හිනිදුම-නෙළුව මාර්ගය
සිංහරාජ වනාන්තරය තුළ මීටර් 600කට වඩා උසකින් යුත් කඳු මුදුන් 5ක් පිහිටා තිබෙනවා. සිංහරාජයේ උසම ස්ථානය මීටර් 1171ක පමණ උසකින් පිහිටා තිබෙන හිනිපිටිගල කන්ද යි. පහත දක්වා ඇත්තේ සිංහරාජයේ උසම කඳු මුදුන් පහ යි.
1) කොස්ගුලන
2) සිංහගල
3) මුලා වැල්ල
4) හිනිපිටිගල- නැගෙනහිර
5) හිනිපිටිගල- බටහිර
සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙන ප්‍රදේශයට මි.මී 3000-6000 අතර වර්ෂාපතනයක් ලැබෙනවා. එසේම එම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 අතර පරාසයක පවතිනවා. මෙම ප්‍රදේශයට හොඳින් වර්ෂාව පතිත වන නිසා සුන්දර දිය ඇළි කිහිපයක් නිර්මාණය වී තිබෙනවා. බ්‍රාහ්මණ ඇල්ල, දූව්ලි ඇල්ල, සහ ඌරා වැටුණු ඇල්ල එම දිය ඇළි කිහිපය අතරට අයත් වනවා.
සිංහරාජයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර 5කින් යුක්ත යි.
ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ හෙක්ටයාරයකට 240000ක පමණ ශාක ඝනත්වයක් දක්නට ලැබෙනවා. මෙහි දී දක්නට ලැබෙන දැවමය වටිනාකමක් ඇති ශාක විශේෂ 340 අතරින් ශාක විශේෂ 192ක්ම ලංකාවට ආවේණික ඒවා යි. එම ශාක විශේෂ 192ක අතරින් 15ක් දක්නට ලැබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ දී පමණ යි. එසේම මෙහි ඇති ශාකවලින් 75%ක පමණ ප්‍රමාණයක් මෙරටට ආවේණික ශාක විශේෂ යි. පහත දක්වා තිබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ පිහිටා තිබෙන ශාක පද්ධතියේ ප්‍රධාන ස්ථර 5 පිළිබඳව යි.
1) නෙරු ස්ථරය- දොරණ, හොර, භූ හොර වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා
2) වියන් ස්ථරය- බෙරලිය, ඇටඹ, බටු නා, වැලිපියන්න, කීන වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා
3) උප වියන් ස්ථරය- උබ්බේරිය, කිතුල්, ගල් හැඩවක, මලබොඩ, කටමොද වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා
4) යටි වියන් ස්ථරය- කුඩුම්බේරිය, මඩොල්, අතුකැටිය වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා
5) බිම් ස්ථරය- මී වන, වැරණිය, කැප්පෙටිය, ගිණිහොට වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා
සිංහරාජයේ දී දක්නට ලැබෙන සතුන් වර්ග
සිංහරාජය අවට ගම්වල සිටින ගම්වාසීන් පවසන්නේ අතීතයේ දී මෙම වනාන්තරය තුළ අලින් බහුලව සිටි බව යි. නමුත් වර්තමානය වන විට මෙහි සිටින අලි ගහණය විශාල ලෙස අඩු වී තිබෙනවා. නමුත් ගෝනා, කොළ දිවියා, ඕලු මුවා, වැනි සත්ත්ව විශේෂ රැසක් මෙම වනාන්තරය තුළ දී දැකගන්නට පුළුවන්. එසේම මෙරටට ආවේණික ක්ෂීරපායී සත්ත්ව විශේෂයන් 12න් 8ක් මෙහි දී දක්නට ලැබෙනවා. තවද පක්ෂි විශේෂ 160ක් පමණ වාසය කරන මෙම වනාන්තරයේ ලංකාවට ආවේණික පක්ෂීන් විශේෂ 18ක් පමණ දැකිය හැකියි. හිස අළු දෙමලිච්චා, කැහිබෙල්ලා, සහ පතිගෝමර තිරාසිකයා එම කුරුළු විශේෂ අතරට අයත් වනවා.
එසේම මෙහි විශේෂ 45 කට අයත් උරගයන් සිටින අතර, ඉන් විශේෂ 21 කම ශී‍්‍ර ලංකාවට අවේණික යි. එලෙස ලංකාවට ආවේණික උරග වර්ග අතරට කටුසු විශේෂයන් කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන් ද අයත්. ඊට අමතරව අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂයන් දෙක ද සිංහරාජයේ දී දැකිය හැකියි. තවද මූකලන් කටුස්සා, කරමල් බෝදිලිමා සහ පුංචි අං කටුස්සා සිංහරාජයේ දී හමුවනවා.
අතිශය දුර්ලභ උභයජීවී විශේෂයන් 50ක් පම සිංහරාජයේ වාසය කරනවා. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම්වල පස් යට ජීවත් වනවා. එසේම ක්ෂීරපායීන් 40ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 20ක්, සහ සමනළ විශේෂ 65ක් පමණ සිංහරාජ වනාන්තරයේ දී හමුවනවා.

1 comment:
Nice ❤️
Post a Comment